← සියලු කටයුතු
පාසැල් · ජල ව්‍යාපෘති

වැව් මැදගම විද්‍යාලයට පිරිසිදු පානීය ජලය ලබාදීම

දිනය10 Feb 2024ස්ථානයවැව් මැදගම විද්‍යාලය
වැව් මැදගම විද්‍යාලයට පිරිසිදු පානීය ජලය ලබාදීම
විස්තරය

වැව් මැදගම විද්‍යාලයට පිරිසිදු පානීය ජලය ලබාදීම

දිනය: 2024-02-10
ස්ථානය: වැව් මැදගම විද්‍යාලය, අම්පාර දිස්ත්‍රික්කය
ව්‍යාපෘතිය: හදවතින්ම දරුවන්ට
සහයෝගය: WE-11 Cricket කණ්ඩායම

පිරිසිදු පානීය ජලය යනු දරුවෙකුට ලැබිය යුතු මූලික අවශ්‍යතාවයක්. විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල පසට සහ ජල මූලාශ්‍රවලට දිගුකාලීනව එක්වන විවිධ රසායනික ද්‍රව්‍ය පිළිබඳව මා තුළ තිබුණේ දැඩි අවධානයක්. අද අප ගන්නා තීරණවල ප්‍රතිඵල අපට පමණක් නොව, අනාගත පරම්පරාවන්ටද උරුම විය හැකි බව මම විශ්වාස කරනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ වැව් මැදගම විද්‍යාලයේ දරුවන් මුහුණ දුන් එක් ගැටලුවක් වූයේ සුදුසු පානීය ජල පහසුකමක් නොමැති වීමයි. ඒ පිළිබඳව දැනගැනීමෙන් පසු "හදවතින්ම දරුවන්ට" ව්‍යාපෘතිය යටතේ පාසලට ජල පෙරණ පද්ධතියක් ලබාදීමට කටයුතු කළා. එමගින් පාසලේ දරුවන්ට වඩාත් පිරිසිදු කළ ජලය පානය කිරීමේ පහසුකම ලැබුණා.

මෙය මට විශේෂ වන්නේ, දරුවන්ගේ ජල ගැටලුවකට විසඳුමක් ලබාදීමට මට හැකි වූ හතරවන පාසල මෙය වීම නිසයි. මා කළ සමාජ සේවා ව්‍යාපෘති අතරින් මෙවැනි ජල ව්‍යාපෘති නැවත මතක් කරන සෑම අවස්ථාවකම මට දැනෙන්නේ විශාල සතුටක්. අප කරන කුඩා උපකාරයක් වුවත් දරුවෙකුගේ දෛනික ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා දැකීම එම සතුටට හේතුවයි.

මෙම පාසලේ ජල ගැටලුව පිළිබඳව මාව දැනුවත් කළේ නිශංකා කෞශල්‍යා නංගි. පසුව, 2025 වසරේදී ඇය වකුගඩු අකර්මණ්‍ය වීමෙන් ජීවිතයෙන් සමුගත් බව දැනගැනීමට ලැබීම මේ මතකයට තවත් සංවේදී අර්ථයක් එක් කරනවා. ඇය ලබාදුන් තොරතුරක් අවසානයේ පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කිරීමට හැකි වීම නිසා ඇයවද මේ ව්‍යාපෘතිය සමග කෘතඥතාවයෙන් සිහිපත් කරනවා.

මෙම කාර්යය සඳහා සහය ලබාදුන් WE-11 Cricket කණ්ඩායම ඇතුළු සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. දරුවන් වෙනුවෙන් සිදු කළ මේ කුඩා කාර්යයේ පින නිශංකා කෞශල්‍යා නංගිටද, ඒ සඳහා සහය වූ සියලු දෙනාටද හේතු වාසනා වේවා.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.