හදවතේ සිහිනය – ශ්රී ගුණානන්ද විද්යාලය, උඩුගම

උත්සාහයෙන් නැගී සිටින පාසලකට පරිගණකයක්
දිනය: 2020 සැප්තැම්බර් 23
පාසල: ශ්රී ගුණානන්ද විද්යාලය, උඩුගම
දිස්ත්රික්කය: ගාල්ල
ව්යාපෘතිය: හදවතේ සිහිනය – පරිගණක ව්යාපෘතිය
සංවිධානය: ඉසුර වික්රමාරච්චි පදනම
“හදවතේ සිහිනය” පරිගණක ව්යාපෘතිය යටතේ තවත් පරිගණකයක් 2020 සැප්තැම්බර් 23 දින ගාල්ල දිස්ත්රික්කයේ උඩුගම ශ්රී ගුණානන්ද විද්යාලයේ දරුවන්ගේ අධ්යාපන කටයුතු වෙනුවෙන් ලබාදුන්නා.
මෙම ව්යාපෘතිය සඳහා පාසල් තෝරාගැනීමේදී මගේ අවධානයට ලක්වූ විශේෂ කරුණක් වූයේ, පහසුකම් සීමිත වුවත් ඒවා ජයගෙන පාසල ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන නායකත්වයක් සහ කැපවීමක් තිබීමයි. ශ්රී ගුණානන්ද විද්යාලයත් එවැනි පාසලක්.
විදුහල්පති ධුරය දරන ස්වාමීන් වහන්සේගේ කැපවීම හා උත්සාහය තුළින් පාසල ක්රමයෙන් ඉදිරියට ගෙන යමින් තිබුණා. එදින අපට දැනගන්නට ලැබුණු පරිදි, 2008 වසරේ දරුවන් 90ක් පමණ සිටි පාසලේ ශිෂ්ය සංඛ්යාව 2020 වන විට 200 ඉක්මවා තිබුණා. සීමිත සම්පත් මධ්යයේ වුවද පාසල පිළිබඳ දෙමාපියන්ගේ හා ප්රදේශවාසීන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට ගත් උත්සාහය එයින් පෙනුණා.
පරිගණකය භාරගත් අවස්ථාවේදී, දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් කරන මෙවැනි උපකාරයක් නැවත නැවත සිහි කරමින් සතුටු විය හැකි පුණ්යකර්මයක් බව විදුහල්පති ස්වාමීන් වහන්සේ සඳහන් කළා. එම වචන මගේ මතකයේ රැඳුණු මේ ගමනේ තවත් විශේෂ අවස්ථාවක්.
දරුවන්ගේ නැණස පාදන්නට තම කාලය හා ශ්රමය කැප කරන මෙවැනි ගුරුවරුන්ට සහ පාසල් නායකත්වයට, මට හැකි අයුරින් ශක්තියක් වීමට ලැබීම මට මහත් සතුටක්. අප ලබාදුන්නේ එක් පරිගණකයක් වුවත්, එය දරුවන් බොහෝ දෙනෙකුට තාක්ෂණය සමඟ හුරු වීමට විවර වන කුඩා දොරටුවක් වේවා යන්න එදා මගේ ප්රාර්ථනය වුණා.
මෙම පාසල පිළිබඳ තොරතුරු ලබාදී “හදවතේ සිහිනය” මෙම දරුවන් වෙත රැගෙන යාමට මඟ පෙන්වූ Nadeesha Lakmal Dissanayakaටද මගේ විශේෂ ස්තුතිය හිමිවෙනවා.



















සංවාදයට එක්වන්න.