← සියලු කටයුතු
පාසැල් · ආධාර

හදවතින්ම දරුවන්ට - ශ්‍රී දේවමිත්ත විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාවට උපකරණ පරිත්‍යාග කිරීම

දිනය29 Sep 2024ස්ථානයරී දේවමිත්ත මහා විද්‍යාලය, දැඩිගමුව
හදවතින්ම දරුවන්ට - ශ්‍රී දේවමිත්ත විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාවට උපකරණ පරිත්‍යාග කිරීම
විස්තරය

දිනය: 2024 සැප්තැම්බර් 29 
ස්ථානය: ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලය, දැඩිගමුව 
ව්‍යාපෘතිය: හදවතින්ම දරුවන්ට - ක්‍රීඩා සංවර්ධන සත්කාරය
දායකත්වය: ලෙදර් ක්‍රිකට් උපකරණ කට්ටල දෙකක්
අනුග්‍රහය: කටාර් රාජ්‍යයේ සේවය කරන මගේ මිතුරන්ගේ සහයෝගයෙන් 
සම්බන්ධීකරණය: ඉසුර වික්‍රමාරච්චි

මා කුඩා කල අධ්‍යාපනය ලැබූ ශ්‍රී දේවමිත්ත විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට දායක වීම දිගු කලක් තිස්සේ මා සිතේ පැවති බලාපොරොත්තුවකි. ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදීම විදුහල්පතිතුමිය සමඟ සාකච්ඡා කළද, එම අදහස ක්‍රියාවට නැංවීමට එවකට අවස්ථාවක් නොලැබුණි.

කෙසේ වෙතත්, පසුකාලීනව විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර ඇති බව දැනගැනීමට ලැබීම මට මහත් සතුටක් විය. ඒ අතරතුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වන මධිශංක මල්ලි මා අමතා, දරුවන්ගේ පුහුණු කටයුතු සඳහා අවම වශයෙන් ක්‍රිකට් උපකරණ කට්ටලයක් හෝ ලබාදීමට හැකිදැයි විමසා සිටියේය.

එම ඉල්ලීම අනුව, මා සේවය කරන කටාර් රාජ්‍යයේ මිතුරන් කිහිපදෙනෙකුගේ සහයෝගය ලබාගනිමින් ක්‍රිකට් උපකරණ කට්ටල දෙකක් සූදානම් කිරීමට හැකි විය. 2024 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එම උපකරණ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කළෙමි.

මෙම උපකරණ අතර ක්‍රිකට් පිති, ආරක්ෂිත හිස්වැසුම්, පා ආවරණ, අත්වැසුම් සහ ක්‍රීඩාව සඳහා අවශ්‍ය තවත් ආරක්ෂක උපකරණ ඇතුළත් විය. මෙම පරිත්‍යාගය දරුවන්ට වඩාත් හොඳින් පුහුණුවීම්වල නිරත වීමට සහ ක්‍රීඩාවේ ඉදිරියට යාමට උපකාරයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

2024 සැප්තැම්බර් 29 වන දින විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී දරුවන්ගේ පළමු ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම මා හට විශේෂ සතුටක් ගෙන දුන් අවස්ථාවකි. කලක් මා සිතේ පැවති බලාපොරොත්තුවක් මෙලෙස යථාර්ථයක් බවට පත්වෙමින් තිබීම, ආදි ශිෂ්‍යයෙකු ලෙස මට මහත් ආඩම්බරයකි.

මාගේ බලාපොරොත්තුව ක්‍රිකට් උපකරණ කට්ටල දෙකක් ලබාදීමෙන් පමණක් අවසන් නොවේ. අනාගතයේ යම් දිනක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු අපගේ ශ්‍රී දේවමිත්ත විද්‍යාලයෙන් බිහිවනු දැකීම මාගේ සිහිනයයි.

මෙම සත්කාරය සාර්ථක කරගැනීමට උපකාර කළ කටාර් රාජ්‍යයේ මිතුරන්ටත්, දරුවන්ගේ අවශ්‍යතාව මා වෙත දැනුම්දුන් මධිශංක මල්ලිටත් මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද දරුවෙකුගේ අනාගතය ගොඩනැගීමට ඉතා වැදගත් බව මම විශ්වාස කරමි. මා අධ්‍යාපනය ලැබූ පාසලේම ඊළඟ පරම්පරාවේ දරුවන්ගේ ක්‍රීඩා සිහිනවලට පුංචි හෝ ශක්තියක් වීමට හැකිවීම, "හදවතින්ම දරුවන්ට" ව්‍යාපෘතිය යටතේ මා ලැබූ තවත් සුවිශේෂී සතුටකි.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.